Wednesday, March 29, 2017

පුටුව

මං හිතන්නේ මේ ලෙඩේ මගේ පුටුවේ ප්‍රශ්නයක් නිසාද දන්නේ නැහැ. දැන් කැක්කුම එන්නේ මවුස් එක අල්ලන අත දිගේ.සේෆ්ටි ඔෆිසර්ට කියලා අර්ගොනොමික් ඇසෙස්මෙන්ට් එකක් කරන්න ඕනේ.

මුලින්ම කැක්කුම ආවේ පපුවේ වම් පැත්තේ. මං හිතුවෙම ඒක එන්නේ හෘදය වස්තුවෙන් කියල. ඒත් ඩොක්ටර් කිව්වේ ඉල ඇටවල මාංස පේශිවලින් එන වේදනාවක් එහෙමත් නැතිනම් ඒවායේ කාටිලේජවල ප්‍රදාහයක් කියලයි. කොස්ටො කොන්ඩ්‍රයිටිස්. අන්න ඒක තමයි නම. ලස්සන නම. ඒත් වේදනාව එච්චර ලස්සන නැහැ.

ඔෆීස්සෙකේ අපට ඉඳගන්න තියෙන්නේ බාල කලුපාට පුටු. හම් කිව්වට බාල කැන්වස්වල පාට ගාපු. උරහිසටත් පහළින් ඉවර වුණු. ලොක්කන්ට තිබ්බේ නිල් පාට උස පුටු. පිට දිගේ හිස් මුදුනට යනකම් හේත්තු කර ගෙන වැඩක් නැත්තම් කැරකි කැරකී හිටිය හැකි පිරිමි පුටු. ඔව් ලොක්කෝ ඔක්කොම පිරිමි. පිරිමින්ට නිල්පාට පිරිමි පුටු කැරකි කැරකි ඉන්න.

කැක්කුම පපුවෙන් නොනැවතී පිට දිගේ යන්න පටන් ගත්තාම, එතැනින් නවතින්නේ නැතිව අත දිගේ, ඊළඟට කකුල් වලටත් එනකොට තවත් පරීක්ෂණ. ලේ, ඊ.සී.ජී., එක්ස් රේ හැම එකක්ම. දැන් කියනවා ෆයිබ්‍රෝ මයල්ජියා වගේලු. ඔෆීස්සෙකේ ස්ට්‍රෙස් වැඩිද කියලත් අහනවා. ස්ට්‍රෙස් නැතිව රස්සාවක් කරන්න පුලුවන්ද?

අපේ වැඩිදෙනා ඉන්නේ පුංචි කියුබිකල්ස්වල. ලොක්කන්ට, සමහර ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලට ජනෙල් අයිනේ කාමර. ඒත් ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා නම් පිරිමි වුනාම. කාමරේ එක්ක හොඳ සැප පහසු පිරිමි පුටුවකුත් ලැබෙනවා, කැරකි කැරකී ඉන්න පුලුවන්. ගෑණියෙකුට ඒ වගේ කාමරයක් ලැබෙන්නේ එහෙම්මත් කලාතුරෙකින්. මුන්ගේ කර ගන්ඩ බැරිවෙන හැම කුණු ගොඩම අරන් එන්නේ මා ගාවට. කොහොම හරි බෑ නොකියා ගොඩ දාලා දෙනවනේ. ඒත් සලකන විදිහ නම් අන්තිමයි. මගේ එක්ස්පීරියන්ස්වල හැටියට මටත් ඒ වගේ කාමරයක් ලැබෙන්න තිබුනේ බොහොම කලින්. ඒත් තවම මුන් ඒ ගැන හිතනවා.

අද සේෆ්ටි ඔෆිසර් ආවා. මගේ පුටුවේ ඇජස්මන්ට් හරි නැහැ කියලා රිපොර්ට් එහෙකුත් හදලා, පුටුව ටිකක් උස්සලා හදලා ගියා. දන්නවද තව පුංචි බංකුවකුත් දීලා ගියා කකුල් දෙක තියා ගන්න. අදත් ඔයාට තෙල් ටිකක් ගාන්න වෙනවා. මගේ අත දිගටම රිදෙනවා.

අර දොස්තර ෆයිබ්‍රො මයල්ජියා කියලා දුන්නු බෙහෙත් ගැන මං ගූගල් කරලා බැලුවා. ඒක ස්ට්‍රෙස්, එන්සයටි වලට එහෙම දෙන බෙහෙතක්. ගොඩක් සයිඩ් ඉෆෙක්ට්ස්. ඒ මදිවට ගත්තාම ඩ්‍රයිව් කරන්නත් බැරිලු. නිදිමත එන නිසා. ඩ්‍රයිව් නොකර කොහොමද වැඩට යන්නේ? හොඳට හිටියි. මං නම් ගන්නෙ නෑ ඔව්වා.

අර ඊයේ සේෆ්ටි ඔෆිසර් ඇවිල්ලා උස්සලා හදලා ගිය පුටුව, ඔන්න අද යන කොට ආපහු පාත් වෙලා. ඒක කැඩිච්චි මළ ජරාවක්. මම ඇඩ්මිනිස්ට්‍රෙෂන් එකෙන් අලුත් පුටුවක් ඉල්ලුවා. හෙට කියන්නම් කිව්වා. ඔයාට අදත් තෙල් ගාන්න වෙනවා. අතෙයි පිටෙයි දෙකේම. මේක පිරිමින්ගේ ඔෆීස් එකක් මට වැඩිය ජූනියර් පිරිමි ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලාටත් ජනෙල් ළඟ කාමර දෙනවා. අර මට දෙයි කියලා හිතා උන්නු කාමරේට අද වෙන පොඩි එකෙක් ආවා, අලුත් පිරිමි පුටුවක් එක්ක.

අර ඇඩ්මිනිස්ට්‍රෙෂන් එකේ ගෑණි අද මට ඇවිත් කියනවා අලුත් පුටුවක් දෙන්න බැහැලු. ඒකට බජට් නැහැලු. කොහෙන් හරි හොඳ පරණ පුටුවක් හොයලා දෙන්නම් කියනවා. මං කිව්වා ඒකිට ඒක එයාටම තියා ගන්න කියලා.

මේක නම් පරණ පවක්. අද මට ලන්ච් ගන්නත් වෙලාවක් නැහැ. ඔලුව උස්සන්න බැරි තරම් වැඩ. ඒ මදිවට කැඩිච්චි පුටුව. මගේ ඇඟේ මුලු දකුණු පැත්තම හිරි වැටිලා. ඔන්න අදත් ඔයාට තෙල්ගාලා තවන්න වෙනවා. ලංකාවෙන් ගෙනාපු බෙහෙත් තෙල් ටික නැත්නම් මෙලහකටත් වේදනාවෙන්ම මං මැරිලා.

මං අද හොඳ වැඩක් කළා බලා ඉන්න බැරිම තැන. මං ගිහින් ඇඩ්මිනිස්ට්‍රේශන් මැනේජර්ට හොඳ දෙකක් කියලා ආවා. මට අලුත් පුටුවක් දුන්නේ නැත්නම් මේ පුටුව පොලේ ගහලා කඩනවා කියලා. මං ඇහැව්වා ඇයි අපි ගෑණු නිසාද මෙහෙම සලකන්නේ කියලා. ඒකට නම් ඒ ගෑණිට හොඳටම අප්සෙට් වුනා වගේ.

ඔයා දන්නවද අද වෙච්චි දේ? මට අද කාමරයක් දුන්න නේ ජනේලයක් ළඟ. අලුත් මේසෙකුයි පුටුවකුයි එක්ක. ඔය කාමරේ මෙච්චර කල් වහගෙන හිටියේ. කොහෙන් හරි පිට ඔෆීස් එකකින් ලොක්කෙක් ආපුවාම ඇරලා දුන්නා එයාට වැඩ කරන්න.ඒ මදිවට ලොක්කා, ඒ කිව්වේ අපේ බොස් නෙවෙයි අපේ කොම්පැණියේ ලොකුම ලොක්කා කවදාවත් නැතිව ඇවිත් මගේ මේසේ ඉස්සරහා වාඩිවෙලා ටික වෙලාවක් කතා කර කර හිටියා. ඇහැව්වා මොනවා හරි අඩුපාඩුවක් තියෙනව නම් එයාටම කියන්න කියලා.

අර අලුත් පුටුව ඒක හරි සනීපයි. ලන්ච්වලින් පස්සේ දන්නේම නැතිව පුංචි නින්දකුත් ගියා පුටුව උඩම. මේ අද අත රිදෙන්නෙත් නැහැ.

ඔයාට පුලුවන්ද අද මගේ එක්ක ගමනක් යන්න එන්න. මට ඕනේ හොඳ මල් පෝච්චියකුයි, ලස්සන මල් පැලයකුයි ගන්න අලුත් කාමරේ තියන්න.





කෙලෝනා නුවර ශනිදා පොළ

ලෝකයේ ම සැරිසරන විහඟුන්
ග්‍රීෂ්ම උණුසුම විඳින්නට පැමිණ
එක් ව ගී ගයන
කන-බොන තැන
මෙතැන

කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

මෙන්න මෙතැන තේ වෙළෙන්දෙක්
රයිබෝස රතු තේ විකුණන
දෙයි තත්ත්ව සහතිකයක්
ඉහළම තත්ත්වයේ රයිබෝස බව
දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන

"මං ශ්‍රී ලංකාවෙන්
මාත් විකුණනවා රයිබෝස රතු තේ
ලංකාවේ කලු තේවලට අමතර ව
පොළේ එඩ්මන්ටන් නුවර"

"අහා එහෙමද?
මං විකුණන්නේ
ඉහළම ඇන්ටිඔක්සයිඩ අගයෙන් යුතු
රතු රයිබෝස තේ
අහවල් පර්යේෂණායතනයේ
දකුණු අප්‍රිකාවේ
අලුතින් හඳුන්වා දුන්
මා විසින් ම
එහි සේවය කරන සමයේ"


කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

මෙන්න මේ බස්කරයා
වයනවා වයලීනය
සංධ්වනි ඒකල වාදනයක් වගේ
හරියට ම කියනවා නම්
ඊටත් වඩා ලයාන්විත ලතාවකට

"ඔබ වයන්නේ
ග්ලින්කා සොනාටාව?"

"ඔව් එහෙනම් ඔබත් දන්නවා ඒ ගැන!
මා රුසියාවේ අහවල් විශ්ව විද්‍යාලයේ
උගන්නන කාලේ
මගේ ගෝලයිනුත්
ප්‍රිය කළේ ඔය වාද්‍ය ඛණ්ඩය"

ඔහු ඉදිරියේ
මුව අයා බලා සිටින
හිස් වයලීන කොපුව
හිස් ම නැත
අතරින් පතර තැන තැන
නිකල්, ඩයිම්, ලූනි ටූනි
කාසි ද ඇත

කොපුවේ උඩ කෙළවරක
උපාධි කබා හැඳ පැළඳ
ජැණ්ඩියට සිටින ඔහුගේ රුව
සංගීත ආචාර්ය, මහාචාර්ය පට්ටම් සමඟ

කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

බලන්න
මේ තෙල් බෙහෙත් විකුණන්නිය
මොල්දාවියානු හිස්වැස්මෙන් සැරසුණු
ඇල්කලොයිඩ ෆ්ලේවනොයිඩ ෆීනෝල
ඇයට නිකම් වතුර වගෙයි

දොඩමලු වූ විගස ඇය හා
දික් කරනවා හැඳුනුම් කාඩ්පතක්
ආචාර්ය උපාධියක් ඇති
රසායන විද්‍යාවෙන්

"ඔව් මම මහාචාර්යවරියක්
කිර්ගීසියානු අහවල් විශ්ව විද්‍යාලයේ
ඉගැන්නුවේ රසායන විද්‍යාව
දැන් මෙහේ පොළේ
විකුණනවා තෙල් බෙහෙත්
එහේ මගේ ගෝලයින්
නිස්සරණය කර එවන"

"මං ආවේ ශ්‍රී ලංකාවෙන්
මාත් විකුණනවා තේ
තේ කිව්වට හර්බල් ටී
එක එක ලෙඩවලට හරියන
පොළේ එඩ්මන්ටන් නුවර"

"අහා! එහෙනම් ඔබත්
උගන්නන්නැති විශ්ව විද්‍යාලයක
ශ්‍රී ලංකාවේ"

කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...