Monday, May 8, 2017

අඩුව

නෑ-සිය හිත-මිතුරන්
පවුල් අවුල්
රැකියාවේ අවනඩු
සියල්ල හැරපියා
නොරට ආවෙමි

පිසින ලද බත් ඇත්තෙමි
ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම
ලැබේ සිසිරය පුරා
රියගාල පිරී ඇත
සුව පහසු රියවලින්
පවුලේ එක් අයෙකුට එක බැගින්

එහෙත් නලියයි මසිත
ලතැවුලක්
සිවුරු හැර ගිය හීරලුවකු
නැවත සසුනට යා නොහැකිව
ලතවන්නා සේ

ඇත්නම් බුලත් විටක්
යහමින් හුනුත් දුම්කොලත් යොදා
විවර කොට හිස් කරන්නට හැකි
සියලු ස්රෝතසුන්

ගසන්නට හොඳවයින් කෙලපාරක්
මිදුල හරහා
රතුම රතු

වැල්ලවත්තේ දුරෙයියප්පාරාමයේ පළමු බණ

පින්වතුනි
අද පින්බිමක් වූ
මේ සුවිසල් මන්දිරය
වෙන්න තිබුනා
පවුකාරයින්ට ආයුධ ගන්නට
මුදල් සපයන ආදායම් මඟක්
අපේ පින්වත් මැතිතුමා
දුර දිග කල්පනා කර
අත්හිටෙව්වේ නැතිනම්
ද්විත්ව පුරවැසිභාවය
කැනඩාවේ ඉන්නා
කොටි නියෝජිතයින්ගේ

අපි මේ අසපුව
නම් කරනවා ඒ දමිල පින්වතාගේ නමින්
කොටින් අතින් දඩයම් වූ
පළමුවරට

දැන් මේ පළාතේ දමිල පින්වතුනට
හැකියි ඇති තරම් පින් දහම් කරන්නට
උවමනා නැත යන්න "ලිංගම්" වන්දනාවේ
අපට පුළුවනි කියා තහනම් කරන්නට
අපේ සංස්කෘතික අමාත්‍ය උපාසක මහතාට
සියලු අසැබි සංකේත
රැක ගන්නට අපේ නිර්මල සංස්කෘතිය

පළමු මංගල බණේදීම
මං යෝජනා කරනවා මේ පින්වතුනට
ලබා දෙන ලෙස
සිංහල බෞද්ධ පත පොත
යවන්නට යාපනයේ පුස්තකාලයට
පාදඩයින් විසින් ගිනි තැබූ
අප විසින් පිළිසකර කරවූ

පුළුවන් වේවි නොවැ
ඒ දමිල සුපින්වතුන්
කරන්න සිංහල බෞද්ධයින්
අපේ මේ පින්වත් මහැදුරුතුමාට
පුරුතුගිසිනුත් සිංහල කළ හැකි

අවැසි නැති වෙනස් කරන්නට
නම් වාසගම් කිසිවක්

අපේ මේ පඬිතුමා
දේවි හෙළ නිරුක්ති
ඒ හැම නමකටම

අපට පුළුවනි වදාරන්න
සාමයේ බුදුබණ
යුද්ධය වෙනුවට
ඉන් පසුව
කිසිම භේදයක් නැතිව
සිංහලෙන්

බිංදු

පුංචි පුතු 'බිනූ'
එලොව ගිය දිනයේ
මෙලොව නොදැකම
අම්මාගේ තනියට
'බිංදු' වී පැමිණි නුඹ
හරිම පුදුමයි
බලු ගති අමතක වී
මිනිසෙකු මෙන් රඟන රඟ

කුඩා කල නිවෙස සැමතැන
තෙමූ මුත් අත දරුවෙකු සේ
ඉක්මණින් පුරුදු විය
යන්නට වැසිකිළියට ම!

මවු සමඟ තොදොල් වී ආදර බස් තෙපලන්නට
විටෙක අමනාප වී රැවුම් එරැවුම් ලන්නට
හැකියි නුඹ හට අනෙක් පොඩිවුන් සේ
හැබැයි නොහැකියි උන්ට
නුඹට මෙන් මුවට මුව තබා සිප ගන්ට

විටෙක අමතක වූ විට
හිස පිරිමැදුම නිදන තුරු
මතක් කර දෙන්නට හුරතල් බසින්
අනෙකුත් පොඩිවුන් සේ ම
නුඹටත් පුරුදු වූ අරුම!

කුඩා බිංදුවක් ලෙස හිතේ තැන්පත්ව
කුඩාම කුඩා කල අපේ වෙත පැමිණි නුඹ
හිතේ මුලු වපසරිය පුරා ඉහිරුණු අයුරු
හරිම පුදුමයි
මේ ටික කාලයට

විදිලියක් සේ මතුව
නැති වී ගිය
'බිනූ' නැවත මතුවන්නට
හදනවා යැයි සිතෙන තරමට
මිනිස් දරුවෙකු වන්නට
නුඹ විළි ලන අයුරු දුටු විට

සිහිනයක් සේ පොලා පනී විටින් විට
මසිත තුළ
අරුමයක් නුඹ ගැන

කවදා හෝ පනීවිද දෝතට
සැබෑ මිනිස් දරුවකු ලෙස
රූපාන්තරණය වී
පිනෝකියෝ මෙන්!



මීතොටමුල්ල කසල මහා සෑය

මහ කොළඹ මහ ඇමති
ගෙනැවිත් ඇත කදිම යෝජනාවක්
කුණු කන්ද වෙනුවට
නාගරික උද්‍යානයක්

සුවඳ හමන මල්ගොමුවලින් සැදි
පෙම්වතුන්ට අත් පටලා
පැද කුණු කළ හැකි
සක්මන් මලුද
සිත් සේ සැඟව සිට
රමණය කළ හැකි
තුරු වදුලු වලින් ද සැදි
මනරම් උද්‍යානයක්

එහෙත් ඇත පොඩි කණස්සල්ලක්
කුණු කන්දට යටව ගිය උන් ගැන
මල්ගොමු කෙසේ පිපුණද
පෙම්වතුන් සක්මන් කරන්නේද
රමණය කරන්නේ ද
ඒ අහිංසකයින්ගේ
දෙන මත නැගී නොවෙද?

ඇත මටත් යෝජනාවක්
කරන්නට අපේ
මහ කොළඹ මැතිතුමාට
හැකියාවක් ඇත්නම් සළකා බලන්නට

කුණුගොඩ සමතලා කොට
උද්‍යානයක් හදනවා වෙනුවට
ඒ කන්ද යට කොට
බඳිමුද මහා සෑයක්
අහිංසකයින්ගේ ආරාමය වැනි

මේ සුවිසල් කුණු කන්ද
ජේතවනාරාමයටත් වඩා උස
ඔබව ගෙනයාවි
ගිනස් පොතේ පිටු අතරටත්

ඕනෑ නම් ඔබට හැකිවේවි
අණ පනත් ගේන්නට
දුටුගැමුණු රජතුමා
පැමිණුවා සේ
දෙමළ මහා සෑයේ
එළාර සොහොනට

මේ මහා සෑය අසලින් යන විට
නැගිට ආචාර කළ යුතුය පුරවැසියන්

The Messanger

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

රෑ දෙගොඩයාමයේ
නිදා ඉන්නා විටදී
ඇහැරවා
"සුභ උදෑසනක්!"
කියන්නට උනන්දු වන
ලෝකයේ අනෙක් කෙලවර ඉන්නා
නාඳුනන මිනිසුනුත්
මුණ ගැහෙන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

පොතක් පතක් හොයා ගන්න
දැනුම උරගා බලන්න
නොදැකපු යාළුවනුත්
විටින් විට ඇවිත් එබෙන
"ඇයි දැන් ලියන්නේ නැත්තේ?"
ආදරයෙන් අහන

කවියේ පතාක යෝධයෙක්
හිතන්න බැරි වෙලාවක
හිතන්න බැරි විදිහට
කවි ගැන නොදන්නා මවෙත
ලියූ අලුත් කවියක් දික්කර
"මේ ගැන මොකක්ද හිතෙන්නේ
සහෝදරයා?" කියා අහන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

විටෙක ගැහැණු වෙස් ගෙන
ස්ත්‍රීලෝලිත්වය
අණ්වීක්ෂයකට ගන්නා හදන
නොපෙනෙන පිරිමි ඇඟ
හංගා ගත් පිරිමි
හමුවන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

මහළු මිනිසුන්ට ආදරය කරන
ආදරය වැඩිකමට
සැඟවුණු පුරුස කය
රහසින් පෙන්නන්නට තනන
පිරුණු මස් පිඬු නටවමින්
කායවර්ධන ව්‍යායාමයේ යෙදෙන
තරුණ පිරිමින් හමුවන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

Tuesday, May 2, 2017

සුළඟ සමග

සුළඟ සමග




















පිළිකන්න කෙලවර අරක්ගත්
සද්දන්තයෙකු සේ නැගී සිටි
යූධ පොප්ලර් ගස
බෝධියක් ම විය අපට

ගිම්හානයේ වියලි සුළඟින්
සෙලැවෙන තුරු පතින් නැගුනේ
ගමේ බෝධිය අබියස ඇසුණු
බෝ පත්වලින් එන සිලි සිලියමය

පාරජම්බුල කිරණින් සරු
සම දවන සැඩ හිරු රැසින්
තැවුණු ගත නිවන්නට
සුළඟ සමග ගෙන එන්නේ
බෝ මළුවේ දී ලත් සිසිලසමය

ගසේ අතු පුරා ඉපිද
දහසක් පත් තරමට ම
පිරී පහළට බර වී
හඬන්නට ඇඟිල්ලෙන් අනින තුරු
බලා සිටින ස්ඵෝටකයන්
ග්‍රිෂ්මයේ තාපයට පුපුරා
වගුරවන කෙලක් වූ බීජ
ගිම්හානයටත් වට හිම වැස්සක් සේ
මුළු පොළොව ම බදා බදු ගත් දිනයේ

පිරිසිදු කම අකුරට ම රැකි
මගේ අසල්වැසියා
කුණුහරුප වනපොත් කරන විට
කෝප විය
පොප්ලර් ගස වෙනුවෙනුත්
බෝධියට ඇති මගේ භක්තිය

වැඩෙන්නට ඉඩ නොදෙන
නොගැළපෙන පොළොව මත
පතිත වූ
කෙලක් වූ මුදාහළ බීජ
පණ අදියි වැඩෙන්නට විලි ලමින්
කියා දෙන්නට
බෝධියට අමතක වූ පාඩමක්

සුළඟ හා ගසාගෙන
නොරට පාවී ආ
අපට

Monday, May 1, 2017

ග්‍රීස් යකා




ජීවිතයෙන්
ලිස්සා ගිය
අනුරාගය
දෑසින් බදා
වැළඳ ගන්නට
ඉඩ නොදෙන
මිනිසුන් ගෙන් 
ලිස්සා යන්නට

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...