Wednesday, March 29, 2017

කෙලෝනා නුවර ශනිදා පොළ

ලෝකයේ ම සැරිසරන විහඟුන්
ග්‍රීෂ්ම උණුසුම විඳින්නට පැමිණ
එක් ව ගී ගයන
කන-බොන තැන
මෙතැන

කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

මෙන්න මෙතැන තේ වෙළෙන්දෙක්
රයිබෝස රතු තේ විකුණන
දෙයි තත්ත්ව සහතිකයක්
ඉහළම තත්ත්වයේ රයිබෝස බව
දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන

"මං ශ්‍රී ලංකාවෙන්
මාත් විකුණනවා රයිබෝස රතු තේ
ලංකාවේ කලු තේවලට අමතර ව
පොළේ එඩ්මන්ටන් නුවර"

"අහා එහෙමද?
මං විකුණන්නේ
ඉහළම ඇන්ටිඔක්සයිඩ අගයෙන් යුතු
රතු රයිබෝස තේ
අහවල් පර්යේෂණායතනයේ
දකුණු අප්‍රිකාවේ
අලුතින් හඳුන්වා දුන්
මා විසින් ම
එහි සේවය කරන සමයේ"


කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

මෙන්න මේ බස්කරයා
වයනවා වයලීනය
සංධ්වනි ඒකල වාදනයක් වගේ
හරියට ම කියනවා නම්
ඊටත් වඩා ලයාන්විත ලතාවකට

"ඔබ වයන්නේ
ග්ලින්කා සොනාටාව?"

"ඔව් එහෙනම් ඔබත් දන්නවා ඒ ගැන!
මා රුසියාවේ අහවල් විශ්ව විද්‍යාලයේ
උගන්නන කාලේ
මගේ ගෝලයිනුත්
ප්‍රිය කළේ ඔය වාද්‍ය ඛණ්ඩය"

ඔහු ඉදිරියේ
මුව අයා බලා සිටින
හිස් වයලීන කොපුව
හිස් ම නැත
අතරින් පතර තැන තැන
නිකල්, ඩයිම්, ලූනි ටූනි
කාසි ද ඇත

කොපුවේ උඩ කෙළවරක
උපාධි කබා හැඳ පැළඳ
ජැණ්ඩියට සිටින ඔහුගේ රුව
සංගීත ආචාර්ය, මහාචාර්ය පට්ටම් සමඟ

කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

බලන්න
මේ තෙල් බෙහෙත් විකුණන්නිය
මොල්දාවියානු හිස්වැස්මෙන් සැරසුණු
ඇල්කලොයිඩ ෆ්ලේවනොයිඩ ෆීනෝල
ඇයට නිකම් වතුර වගෙයි

දොඩමලු වූ විගස ඇය හා
දික් කරනවා හැඳුනුම් කාඩ්පතක්
ආචාර්ය උපාධියක් ඇති
රසායන විද්‍යාවෙන්

"ඔව් මම මහාචාර්යවරියක්
කිර්ගීසියානු අහවල් විශ්ව විද්‍යාලයේ
ඉගැන්නුවේ රසායන විද්‍යාව
දැන් මෙහේ පොළේ
විකුණනවා තෙල් බෙහෙත්
එහේ මගේ ගෝලයින්
නිස්සරණය කර එවන"

"මං ආවේ ශ්‍රී ලංකාවෙන්
මාත් විකුණනවා තේ
තේ කිව්වට හර්බල් ටී
එක එක ලෙඩවලට හරියන
පොළේ එඩ්මන්ටන් නුවර"

"අහා! එහෙනම් ඔබත්
උගන්නන්නැති විශ්ව විද්‍යාලයක
ශ්‍රී ලංකාවේ"

කෙලෝනා නුවර ශනිදා පොළ
කෙසේ වනම්ද මෙය
සංස්කෘතික ගෙත්තමක් යැයි
කියනු හැර
කැනඩාව මෙන් ම
ඔව් මුලු කැනඩාව මෙන් ම

No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...