Sunday, April 30, 2017

සිංහ හම පොරවා ගත් බැටළුවා

මිනිහෙක් තවත් මිනිහෙකුගේ මස් කෑම කෙතරම් පිළිකුල් සහගත වැඩක්ද? ඒත් බොහොම ඉස්සර, ගෝත්‍රිකයින් එකිනෙකා එක්ක සටන් කරපු කාලෙ, උන් උන් අනික් වරිගෙ මරා ගත් සතුරන්ගේ මස් කෑවා; ලේ බීවා. දැනුත් ලෝකයේ සමහර ගෝත්‍රික සමාජ අතර මේ දේ සිද්ධ වෙනවා. ගෝත්‍ර හැටියට බෙදුනාම එකම මිනිස්සු වුනත් හිතන්නේ අනික් ගෝත්‍රයේ ඉන්නේ වෙනම සත්ත්ව කොට්ඨාසයක් කියලයි. එහෙම හිතුවාම කුකුළෙක් මරාගෙන කනවා වගේ තමයි, එක් ගෝත්‍රයක මිනිහෙකුට අනික් ගෝත්‍රයේ මිනිහෙකුව මරාගෙන කෑම.
මං දැන් කියන්න හදන කතාවත් ඒ වගේ පිළිකුල් සහගත, තම තමන්ගේ මස් කෑමත්, ලේ බීමත් ගැන කියැවෙන කතාවක්.
හැබැයි කතාව කියන්න ඉස්සරවෙලා තව පොඩි කොන්දේසියක් ගැනත් මතක් කරන්න වෙනවා. තම තමන්ගේ මස් කෑවත් ලේ බිව්වත්, ඒකට සමාව දෙන්න පුළුවන් අවස්ථාවක් තියනවා. ඒක තමයි දොළදුක් පහළ වන අවස්ථාව.
සමහර ගැහැණුන්ට ලමයි වදන්න ඉඳිද්දී මහ අමුතු දේවල් ඕනෑ වෙනවා. එතකොට ඒ වගේ හැහැණියකට තව මිනිහෙකු ගේ ලේ බොන්න හිතුනොත් ඒක සමාව දිය යුතු වරදක්. ඒ ගැන අහිතක් හරි, පිළිකුලක් හරි ඇති වෙන්න හොඳ නැහැ. ඇයි අපේ විහාර මහා දේවියටත් ගැමුණු කුමාරයා වදන්න ඉන්න කාලේ දී සොලී සෙනෙවියෙකුගේ බෙල්ල කපාපු කඩුව හෝදලා ගත්තු වතුර නාන්න ඕනෑ වුනේ. කවුද ඒක පිළිකුල් සහගතයි කියන්නේ?
මේ කතාවේ එන ගැබ්බර බැටළු දෙන හිටියේ එක ගොවිපොලක. මේ ගොවිපොලේ බැටළුවන් හැර හරකුන්, කුකුළන්, ඌරන් ආදී නොයෙකුත් සත්තු හිටියා. ඒ හැර බල්ලොත් හිටියා. බල්ලන් හිටියේ ගොවිපොල ඇතුල මුර කරන්නයි.
මේ ගොවිපොලට සතුරු කරදරයක් තිබුනා. සමහර වෙලාවට මුගටියෙක්, නරියෙක් වගේ පොඩි සතෙක් ගොවිපොලට හොරෙන් ඇතුළුවෙලා ඌට සරිලන ගොදුරක් ඩැහැගෙන යනවා. තවත් සමහරක් වෙලාවට කොටියෙක්, සිංහයෙක් වගේ ලොකු සතෙක් ඇවිදින් ගොවිපොලේ සත්තු මරන් කනවා. මුගටියෙක්, නරියෙක් වගේ පොඩි සතෙක් නම් බල්ලන් එකතු වෙලා කොහොම හරි මේච්චල් කර ගන්නවා. ඒත් සිංහයෙක් හරි කොටියෙක් හරි දැක්කොත් බල්ලන් වලිගේ කකුල් අස්සේ ගහගෙන බිමට නැමිලා කෙඳිරිගාලා මළ-මුත්‍ර පහකරනවා, බයටම.
මේ නිසා ගොවිපොලේ මිනිසුන් රෑ කාලයේ ගොවිපොල වටේට මුර කරනවා, අතේ තුවක්කු තියාගෙන. ලොකු සතෙක් ආවොතින් එක වෙඩි පහරින් බිම දාන්න පුළුවනි, මේ මිනිස්සුන්ට.
ඉතින් අපි ආයෙත් අර ගැබ්බර බැටළුදෙන ගැන කතා කරමුකෝ. මේ බැටළුදෙනටත් ඒ කාලෙට පහළ වන දොළදුකක් පහළ වුනා. ඒත් ඒක කරන්න බැරි දෙයක් නිසා බොහෝ දුකින් පැත්තකට වී කාලය ගත කළා. මේ බැටළුදෙනගේ සැමියා වූ බැටළුවා මේක දුටුවා. බලන් ඉන්න බැරිම තැන බැටළුදෙන ළඟට ගිහින් මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා ඇහැව්වා. බැටළුදෙන කඳුළු හැලුවා මිස උත්තර දුන්නේ නැහැ.බැටළුවත් ඊළඟට කන්පට ගහලා, මූණ ඇඟ ලෙවකාලා, පෙරැත්ත කරන්න පටන් ගත්තා. අන්තිමට බැටළුදෙන අඬමින්ම මෙහෙම කියනවා.
"මට දැන් සති ගානක ඉඳලා මහ අමුතු ආසාවක් තියෙනවා. ඒත් ඒක කොහොම ඉටු කර ගන්නද කියලා තේරුමක් නැතිවයි ඉන්නේ. ඒක කොහොමටවත් ඉස්ට වෙන දොළදුකක් නොවෙයි"
"නෑ හාමිනේ, ඔහේගේ සුවාමිපුරුසයා හැටියට ඔය ඕනෑම ආසාවක් ඉස්ට කරන්න මං බැඳිලයි ඉන්නේ. ඉතින් බෙල්ල කඩාගෙන හරි මං ඒ දේ කරලා දෙනවා. හංගන්නේ නැතිව කියන්න" බැටළුවා කිව්වා.
"මට බැටළු ලේ බොන්න ආසයි. ඒත් ඒක කොහොම කරන්නද?" බැටළුදෙන තමන්ගේ ආසාව හෙළි කළා.
"අපොයි ඒක සුලු දෙයක් නොවැ. මට පුළුවනි මගේ කකුලක් පලලා හරි, කනක් ඉරලා හරි ලේ ටිකක් දෙන්න. බඩේ ඉන්න මගේ පැටියා වෙනුවෙන් ඒ දේ කරන්න බැරි මොකෝ?"
"ඒත් මට ඕනේ ඔහේගේ ලේ බොන්න නොවෙයි. ඒක මට කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඊට වඩා හොඳයි ගොවිපොලේ වැටෙන් පැනලා ගිහිල්ලා සිංහයෙකුට ගොදුරුවෙලා මැරෙන එක" බැටළුදෙන ආයෙත් අඬන්න පටන් ගත්තා.
අන්තිමට බැටළුවා පොරොන්දු වුනා තවත් බැටළුවෙක් මරාගෙන ඇවිත් බැටළුදෙනට ලේ බොන්න දෙන්න.
ඒත් බැටළුවෙක් කොහොමද තව බැටළුවෙක් මරන්නේ? බැටළුවා දහ අතේ කල්පනා කළා. අන්තිමට නුවණක් පහල වුනා. ගොවිපොලේ මිනිසුන් එක්වරක් මරාපු සිංහයෙකුගේ හමක් තිබුනා. බැටළුවා රෑට ඒක හොරකම් කරගෙන පොරවා ගත්තා. දැන් බැටළුවත් ඇරපු අතක් නැහැ, නියම සිංහයෙක් වගේ.
මේ සිංහ හම පොරවා ගත් බැටළුවා, අනික් බැටළුවන් මැදට යන හැටි මුලින්ම දැක්කේ බල්ලෝ. උන් වලිගේ කකුල් අස්සේ ගහගෙන බිමටම නැමිලා කෙඳිරිගාමින් මළ-මුත්‍ර පහ කළා, බයටම.
බැටළුවත් කිසිම අමාරුවක් නැතිව තව බැටළුවෙක් මරා ගත්තා. ඉන් පස්සේ උගේ ලේ අරගෙන ගිහින් බැටළුදෙනට පෙව්වා. බැටළුදෙනගේ දොළදුක ඒකෙන් සංසිඳුනා.
ඒත් බැටළුවාට එයින් පස්සේ මහ අකරතැබ්බයක් වුනා. අර එක පාරක් මිනිහෙකු හපා කාපු බල්ලන්ට ලේ රස වැටුණාම අහුවෙන හැම මිනිහාම කන්න පනින්නා වගේ, බැටළුවාට ඉන් පස්සේ නැවත නැවතත් බැටළු ලේ බොන්න ඕනෑ වුනා.
ඉතින් හැමදාම රෑට සිංහ හම පොරවා ගෙන බැටළුවන් මරා ලේ බොන්න මේ බැටළුවා පුරුදු වුනා. මිනිස්සුත් ගොවිපොල වටේට වට කරගෙන බලන් ඉන්නවා, පිටතින් එන සිංහයා අල්ලන්න; නැති නම් වෙඩි තියන්න. ගොවිපොළ ඇතුළේ ඉන්න බල්ලෝ වලිග කකුල් අස්සේ ගහගෙන කෙඳිරිගාමින් බිමට පාත්වෙලා මළ-මුත්‍ර පහ කරනවා සිංහයාට ඇති බයට.
මේ සේරොම සිදුවන අතරේ බැටළුවත් සිංහ හම පොරවා ගෙන එක දවසට එක බැටළුවා ගානේ මරා ගෙන ලේ බොනවා.
බොහෝ බැටළුවන්, බල්ලන් හා ගොවිපොලේ මිනිසුන් හිතුවේ මේක පිල්ලුවක් කියලයි. පිටින් එන සිංහයෙකුත් නැහැ. ඒත් ගොවිපොලේ බැටළුවන් සිංහයෙක් ඇවිත් මරනවා. ඒ විතරක් නම් මදෑ. ලේ විතරක් බීලා කුණ අහක දානවා. බල්ලන් මේ අහක දමන කුණ බුදින්න පටන් ගත්තා. ඔයින් මෙයින් බල්ලන්ටත් ,මහ අකරතැබ්බයක් වුනා. බල්ලොත් බැටළු මස්වලට රහ වැටිලා, රෑට රෑට හොරෙන් හොරෙන් බැටළුවන් අල්ලන්න පටන් ගත්තා.ඔන්න ඔය විදිහට තමයි සිංහයා සමහර දවස්වලට බැටළුවන් දෙතුන් දෙනා මරණ බවට ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ.
කොහොම කොහොමෙන් හරි අන්තිමට ගොවිපොලේ බැටළුවන් ගෙන් ඉතිරි වුනේ සිංහ හම පොරවන් ලේ බොන බැටළුවාත්, අර මුලින් කියාපු බැටළුදෙනත්, ඈ අලුත වදාපු පැටියත් විතරයි.
දැන් බැටළුවා බැටළුදෙනට ළං වෙලා මෙහෙම කියනවා, "මට දැන් බැටළු ලේ නැතිව ජීවත්වෙලා වැඩක් නැහැ. අද රෑට මම උඹේ පැටියා මරාගෙන ලේ බොනවා ඇරෙන්න වෙන දෙයක් මට ඉතුරුවෙලා නැහැ"
බැටළුදෙන මෙහෙම කිව්වා. "ඔයා කොහොමද තමන්ගෙම දරුවා මරන්නේ? මං හැමදාම මගේ කකුලක් පලලා හරි, කනක් ඉරලා හරි ලේ බොන්න දෙන්නම්. ඒ දේ නම් කරන්න එපා"
"අපොයි උඹේ ලේ බොනවට වඩා හොඳයි, ගොවිපොලේ වැටෙන් පැනල ගිහින් සිංහයෙකුට ගොදුරුවෙලා මැරෙන එක" බැටළුවා කිව්වා.
අන්තිමට බැටළුදෙන අඬමින්ම එදා රෑට පැටවා බැටළුවාට මරන්න දෙන්න එකඟ වුනා. ඒත් බැටළුදෙනට මේක වාවගන්න බැහැ. මොන අම්මද කැමති තමන්ගේ දරුවා දැන දැන මරණෙට යවන්න.
අන්තිමේ බැටළුදෙන තව දුරටත් කල්පනා කරලා වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නොතිබුණු නිසා බල්ලන්ට මේ රහස එළි කළා.
එදා රෑත් සිංහ හම පොරවා ගත්තු බැටළුවා ගොවිපොල මැදට ආවා. ඒත් බැටළු පැටවා ලඟට හෙමින් හෙමින් කිට්ටු කරන කොටම, මෙන්න බොලේ ගොවිපොල මැදට කලු කොටියෙකුත් පාත්වෙලා! මේ කොටියා දැකපු සිංහයා බය වෙලා බැටළු හඬින් මහ හයියෙන් මොර දෙන්න පටන්ගත්තා. එතකොට බල්ලෝ එකතුවෙලා බොරු සිංහයාව වට කර ගත්තා. කලු කොටි හම අස්සෙන් තවත් බල්ලෙක් මතු වුනා. බල්ලන්ට බැටළුවා මරා දමන්න එතරම් වෙලාවක් ගියේ නැහැ.
වෙනදා සිංහ හම පොරවා ගත්තු බැටළුවාට බයේ මළ-මුත්‍ර පහ කරපු බල්ලෝ, අද බැටළු කුණ ළඟටම ඇවිත් ඊට මුත්‍ර කරන්නටත්, පයින් අනින්නටත් පටන් ගත්තා. උන් උස් හඬින් බුරමින් කුණ වටේ නටන්නට වුනා.
බැටළුදෙන විතරක් තමන්ගේ පැටියත් තුරුළුකරන් හෙමින් අඬන්නට වුනා ඉකි ගහමින්. කවුරුද කැමති මොන වැරැද්ද කළත් තමන්ගේ කෙනෙක් මැරෙනවා දකින්න?
ඇත්තට මේ කතාවේ සිද්ධ වෙලා තියෙන්නේ බාගයයි. ඒ බැටළුවා තාමත් සිංහ හම පොරවගෙන අනික් බැටළුවන් මරමින් ලේ බොමින් ඉන්නවා. බල්ලන් අහක දාන කුණ බුදින අතරේ තවත් බැටළුවන් මරමින් ඉන්නවා.
ඒත් ඉස්සරහට වෙන්න පුළුවන් හරිය මං අතින් ගොතා දැම්මා. ඒහෙම වුනත් එක වැදගත් කාරණයක් තියෙනවා. කොච්චර බැටළුවන් මැරුවත්, මරාගෙන ලේ බිව්වත්, බල්ලන්ට හරි මිනිස්සුන්ට හරි අහුවෙලා සිංහ හම පොරවා ගත්තු බැටළුවා මැරුණොත්, එදාට අනිත් බැටළුවන්ට සතුටු වෙන්න බැහැ, තමන් අල්ලන් මරණ හතුරා මැරුණා කියලා.
කවුරුද කැමති මොන වැරැද්ද කලත් තමන්ගේ කෙනෙක් මැරෙනවා දකින්න?
මේ කතාව පළවුනේ 1989 අප්‍රේල් මාසයේ 'විවරණ' සඟරාවේ. ඒ වෙනකොට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හිටියේ තමන් කවදා හරි ජයගන්නා බවට හිතා ගෙන. ඒ අස්සේ මම මේක ඉවර වෙන හැටි ගැන මට හිතුණු දේ කියන්නයි මේ කතාව ලිව්වේ. මේක කියවපු මා මිත්‍ර ජී.ඩී. (අපි ජී.ඩී. කිව්වේ අර සූසැටබරණින්, කඳුළු දෙන්න මට හඬන්න සිංදු ලිව්ව ජයරත්න ගමගේට ) මට මෙහෙම පණිවුඩයක් එවා තිබුනා.
"මේ දවස්වල උඹට හිතෙන දේවල් ඒ විදිහටම නොලියා කටයි පුකයි දෙකම වහගෙන හිටපන්"

5 comments:

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...