Monday, May 8, 2017

බිංදු

පුංචි පුතු 'බිනූ'
එලොව ගිය දිනයේ
මෙලොව නොදැකම
අම්මාගේ තනියට
'බිංදු' වී පැමිණි නුඹ
හරිම පුදුමයි
බලු ගති අමතක වී
මිනිසෙකු මෙන් රඟන රඟ

කුඩා කල නිවෙස සැමතැන
තෙමූ මුත් අත දරුවෙකු සේ
ඉක්මණින් පුරුදු විය
යන්නට වැසිකිළියට ම!

මවු සමඟ තොදොල් වී ආදර බස් තෙපලන්නට
විටෙක අමනාප වී රැවුම් එරැවුම් ලන්නට
හැකියි නුඹ හට අනෙක් පොඩිවුන් සේ
හැබැයි නොහැකියි උන්ට
නුඹට මෙන් මුවට මුව තබා සිප ගන්ට

විටෙක අමතක වූ විට
හිස පිරිමැදුම නිදන තුරු
මතක් කර දෙන්නට හුරතල් බසින්
අනෙකුත් පොඩිවුන් සේ ම
නුඹටත් පුරුදු වූ අරුම!

කුඩා බිංදුවක් ලෙස හිතේ තැන්පත්ව
කුඩාම කුඩා කල අපේ වෙත පැමිණි නුඹ
හිතේ මුලු වපසරිය පුරා ඉහිරුණු අයුරු
හරිම පුදුමයි
මේ ටික කාලයට

විදිලියක් සේ මතුව
නැති වී ගිය
'බිනූ' නැවත මතුවන්නට
හදනවා යැයි සිතෙන තරමට
මිනිස් දරුවෙකු වන්නට
නුඹ විළි ලන අයුරු දුටු විට

සිහිනයක් සේ පොලා පනී විටින් විට
මසිත තුළ
අරුමයක් නුඹ ගැන

කවදා හෝ පනීවිද දෝතට
සැබෑ මිනිස් දරුවකු ලෙස
රූපාන්තරණය වී
පිනෝකියෝ මෙන්!



No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...